Tuesday, February 26, 2013

ඔය විදිහට හුදකලා වෙන්න එපා !

ද බොහෝ දෙනෙක් මනසින් හුදකලා වී සිටිති.කායික හුදකලාවට වඩා මනස එය විඳී. තනිවීමට වඩා හුදකලා බව යහපත්ය.තනිවීම බැඳීම් කෙරෙහි ආශක්තබව නිසා ඇතිවේ.එය සිතට පීඩාවකි.මානසික ආතතියකි.හුදකලාව නම් පූර්ණ නිශ්ශබ්දතාවයයි.රුක්ඛමූල,ශුන්‍යාගාර,ආරණ්‍ය වැනි විවක්ත ස්ථාන සේවනයෙන් හුදකලාව ඇතිකරගත යුතු බව බුදුරදුන් විසින් පෙන්වා දී තිබේ. සිත කය දරථ රහිත උපධි විවේකයම හුදකලා වාසය ලෙස පැහැදිලි කර දී ඇත. තමාට වඩා ගුණ නුවණින් උසස් හෝ තමාට සමාන වූවෙකු ආශ්‍රයට නොලැබුණහොත් ගුණ නැණ හීනයන් ඇසුරු කරනවාට වඩා වන‍ෙයහි එකලාව එක් අඟක් සහිත කඟවේණෙකු සේ හුදකලාවීම යහපත් බව බුදුරදුන් විසින් දක්වා තිබේ. හුදකලා‍වෙන් ආධ්‍යාත්මික දියුණුව ඇතිකළ හැකිබව මෙයින් පෙනේ.
 
මෙහි දී පුද්ගලයා උසස් පහත් සේ වර්ගීකරණය වනුයේ ගුණ නැණ අනුවය. බාහිර දියුණුව ආධ්‍යාත්මික සංවර්ධනයට උපකාරී කරගත හැකි වුවත් එය වඩා අදාළ කරගන්නේ පිරිහීම පිණිස බව පෙනේ. බාහිර දියුණුව මානය,මච්ඡරිය වැනි සෙසු අකුසල ධර්ම වර්ධනයටද හේතුවකි. ඇති හැකි අය ගුණවතුන් වන්නේ ඉතා කළාතුරකිනි.කුසගිනි,සා පිපාසා හොඳින් හඳුනන්නේ ඒවායින් පෙළෙන අයයි. නැති කෙනාට පිහිට ලැබෙන්නේ ද තවත් එවැනිම නැති කෙනෙකුගෙන්ම පමණි. ධනය, බලය හා සමාජ තත්වය පුද්ගලයෙකුගේ උසස් පහත් බව මැනීමට හොඳ මිම්මක් නොවේ.
 
දුක, වේදනාව, කඳුළ සියළු ජෛව ප්‍රජාවෙහිම පොදු උරුමයන්ය. මනුෂ්‍යත්වටද එබැවින් ඒ කරුණු අදාළ වේ. මනුෂ්‍යත්වට සෙසු ජීවින්ට නොමැකි බුද්ධිමය පසුතලයක් ඇත.එබැවින් තමා අවට විද්‍යමාන සෙසු සාධක මැනවින් හසුරවාගෙන විසීමට මිනිසාට ඇති හැකියාව සෙසු ජීවීන්ට නොමැත. තමාට දැනෙන හැඟීම් සෙසු මනුෂ්‍යයින්ටද පොදුබව වටහා ගැනීමට තරම් බුද්ධිය දියුණු වුවත් අවාසනාවකට මෙන් මිනිසුන් නොසිතන්නේද ඒ කාරණයමය. තමා අකමැති දේ සෙසු අයට කිරීමට තරම් වරෙක මනුෂ්‍යත්වය තිරිසන්බව දක්වා පහළට වැටෙන ආකාරය ඉතාම ශෝචනීයය.

බොර දියේ මාළු බාන්න එපා !

මානව සමාජය භෞතික අංශයෙන් බොහෝ සංවර්ධනයවුවත් ආධ්‍යාත්මික අංශයෙන් දින දින ප්‍රපාතය කරා ගමන් කරයි.මිනිස් ශිෂ්ටාචාරය ඉතාමත් දියුණුව පැවති ලෙස සැලකෙන දුර ඈත යුගවලදී එම ශිෂ්ටාචාර සහමුලින් විනාශවූයේ මිනිසුන් සාරධර්ම නොතකා ක්‍රියාකරන්නට වූ නිසා බව කියැවේ.ඒවා සත්‍ය බව තහවුරු වන්නේ වර්තමාන දියුණු සමාජයෙහි පවා මිනිසුන්ගේ ඇතැම් ක්‍රියාකාරකම් දකින අසන විටය.මෙයට මූලිකම හේතුව තමන්ගේ නියම ස්වභාවය පිළිබඳව නිසි වැටහීමක් තවමත් බොහෝ දෙනෙකුට නොමැතිකමයි.නියම ස්වභාවය යන්නෙන් අදහස් වනුයේ තමා ලෝකයට අයත් මිස ලෝකය තමාට අයත් නොවන බව නොදන්නා බවයි.වුවමනාවට වඩා සංකීර්ණ චිත්ත ස්වභාවයකට පරිවර්තනයවීම නොදන්නා දේ දැන ඉගෙනීමට බාධාවකි.
දියුණුව කරා යාමට නම් මූලිකවම සමඟි සම්පන්න විය යුතුය. අසමඟිය පිරිහීමට ප්‍රධාන හේතුවකි.පවුලක හෝ ජනසමාජයක දියුණුව සැලසෙන්නේ සමඟිය ඇතිවිටය.අනුන්ගේ දියුණුව නොපතන අය සමඟියට විරුද්ධය.කිසියම් පිරිසක් සමඟි සම්පන්නවූ විට භේද ඇතිකිරීමට සමහරු තැත් කරති.බොරදියේ මාලු බාන්නේ එබඳු අයයි.කලදුටුකළ වල ඉහ ගැනීමට ඔවුහු මාන බලති.
 
උත්සහවන්තබව දියුණුවට අදාළ අනෙක් දෙයයි.දිගුකලක් වැටී සිට නැවත අර්බුදවලින් ගොඩඒමට උත්සහය විශාල අත්වැලකි.තමන්ගේ දුර්වලතා මඟහරවා ගැනීමට අනුන්ට සවන්දීම විශාල පිටිවහලකි.නමුත් අකෘතඥ යටි අදහස් ඇති අය පවසන දේ එක්වර බාරගැනීම නොසුදුසුය. සිත අධෛර්යයට පත්කර දියුණුව වැළකීම පිණිස ද ව්‍යාජ හිතවත්කම් පවා පා උපදෙස් දෙන අය බහුල බැවිනි.සමහරු ගැටළුවලට විසඳුම් සේ දෙන යම් යම් උපදේශ නිසා අර්බුද තවත් උග්‍ර වේ. නැති කරදරද ඇතිවිය හැක.ලුලා නැති වලට කනයා පණ්ඩිතයා විය හැකි අවස්ථාද වේ.බොහෝ විට එබඳු උපදේශවලට වඩා වටින්නේ තමන්ට හුරුපුරුදු අත්දැකීම් අනුව ක්‍රියා කිරීමයි.
 
කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොමැතිව කෙනෙකුට හොඳක් කරන්නට ගොස් නරක නාමය අසා ගැනීමට ද ඇතැම් අවස්ථාවල සිදුවේ.මීයක් කඩන්නේ අත ලෙව කන්නට නොවන බව දක්වා එබඳු අවස්ථාවල දී පවා ආත්මාර්ථකාමී යටි පරමාර්ථ ඇතිබවට සමහරු සැකකරති.අනිත් අයගේ අහේතුක සැකයට ලක්ව හිත රිදවාගන්නා බොහෝ අය අනුන්ට අනුකම්පා කිරීම ද භූමිකම්පාවක් සේ සලකති.වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුනා වගේ යැයි කියන්නේ එබඳු අවස්ථාවලදීය. හොඳ නරක ස්වයං බුද්ධියෙන් තමාටම වැටහේ නම් සිතැඟි අනුව කටයුතු කිරීමේ කිසි වරදක් නොමැත.නමුත් අත්තනෝමතිය සෑම අවස්ථාවකටම එකසේ නොගැලපේ.වඩා සුදුසු සියළු අදහස් කෙරෙහි විවෘතවීමයි.එවිට තමාගේද විවිධ අඩුපාඩු හා දුර්වලතා වටහාගැනීමට ඉඩකඩ ලැබේ.
 
ක්ෂණිකව තීරණයකට එළඹිය යුතු අවස්ථාවන්හි තමාගේ රුචිකත්වයට අනුව ක්‍රියාකිරීම ගැලපේ.තීරණයක් ගත නොහැකිව චංචලවීම එබඳු අවස්ථාවලදී අවාසිදායක වන බැවිනි.පුද්ගලයා සතු කළමනාකරණ හැකියාව එවන් අස්ථාවලදී මහත්සේ උපකාරීවේ.තමා සතු සම්පත් හා හැකියා පිළිබඳව නිවැරදිව තක්සේරු කරගැනීම උපායමාර්ගිකව වැදගත්ය.නිශ්චිත ඉලක්කයකට සියල්ල ගොනු කොට මැනවින් පරිපාලනය කළ හැකි වන්නේ නායක්ව කුසලතා වර්ධනය කරගැනීමෙනි.