Tuesday, February 26, 2013

ඔය විදිහට හුදකලා වෙන්න එපා !

ද බොහෝ දෙනෙක් මනසින් හුදකලා වී සිටිති.කායික හුදකලාවට වඩා මනස එය විඳී. තනිවීමට වඩා හුදකලා බව යහපත්ය.තනිවීම බැඳීම් කෙරෙහි ආශක්තබව නිසා ඇතිවේ.එය සිතට පීඩාවකි.මානසික ආතතියකි.හුදකලාව නම් පූර්ණ නිශ්ශබ්දතාවයයි.රුක්ඛමූල,ශුන්‍යාගාර,ආරණ්‍ය වැනි විවක්ත ස්ථාන සේවනයෙන් හුදකලාව ඇතිකරගත යුතු බව බුදුරදුන් විසින් පෙන්වා දී තිබේ. සිත කය දරථ රහිත උපධි විවේකයම හුදකලා වාසය ලෙස පැහැදිලි කර දී ඇත. තමාට වඩා ගුණ නුවණින් උසස් හෝ තමාට සමාන වූවෙකු ආශ්‍රයට නොලැබුණහොත් ගුණ නැණ හීනයන් ඇසුරු කරනවාට වඩා වන‍ෙයහි එකලාව එක් අඟක් සහිත කඟවේණෙකු සේ හුදකලාවීම යහපත් බව බුදුරදුන් විසින් දක්වා තිබේ. හුදකලා‍වෙන් ආධ්‍යාත්මික දියුණුව ඇතිකළ හැකිබව මෙයින් පෙනේ.
 
මෙහි දී පුද්ගලයා උසස් පහත් සේ වර්ගීකරණය වනුයේ ගුණ නැණ අනුවය. බාහිර දියුණුව ආධ්‍යාත්මික සංවර්ධනයට උපකාරී කරගත හැකි වුවත් එය වඩා අදාළ කරගන්නේ පිරිහීම පිණිස බව පෙනේ. බාහිර දියුණුව මානය,මච්ඡරිය වැනි සෙසු අකුසල ධර්ම වර්ධනයටද හේතුවකි. ඇති හැකි අය ගුණවතුන් වන්නේ ඉතා කළාතුරකිනි.කුසගිනි,සා පිපාසා හොඳින් හඳුනන්නේ ඒවායින් පෙළෙන අයයි. නැති කෙනාට පිහිට ලැබෙන්නේ ද තවත් එවැනිම නැති කෙනෙකුගෙන්ම පමණි. ධනය, බලය හා සමාජ තත්වය පුද්ගලයෙකුගේ උසස් පහත් බව මැනීමට හොඳ මිම්මක් නොවේ.
 
දුක, වේදනාව, කඳුළ සියළු ජෛව ප්‍රජාවෙහිම පොදු උරුමයන්ය. මනුෂ්‍යත්වටද එබැවින් ඒ කරුණු අදාළ වේ. මනුෂ්‍යත්වට සෙසු ජීවින්ට නොමැකි බුද්ධිමය පසුතලයක් ඇත.එබැවින් තමා අවට විද්‍යමාන සෙසු සාධක මැනවින් හසුරවාගෙන විසීමට මිනිසාට ඇති හැකියාව සෙසු ජීවීන්ට නොමැත. තමාට දැනෙන හැඟීම් සෙසු මනුෂ්‍යයින්ටද පොදුබව වටහා ගැනීමට තරම් බුද්ධිය දියුණු වුවත් අවාසනාවකට මෙන් මිනිසුන් නොසිතන්නේද ඒ කාරණයමය. තමා අකමැති දේ සෙසු අයට කිරීමට තරම් වරෙක මනුෂ්‍යත්වය තිරිසන්බව දක්වා පහළට වැටෙන ආකාරය ඉතාම ශෝචනීයය.

No comments:

Post a Comment